බැලූ බැල්මට නම්, ඒක මේ දැන් දැමූ බිත්තරයක් වැනිය. ඒත් ඔබ විශ්වාස කරන එකක් නැහැ, මේ බිත්තරය, අවුරුදු මිලියන 70 කට වඩා පැරණියි. ආජන්ටිනාවේ කැණීමකින් සොයා ගත් මේ බිත්තරය, ඩයිනසෝර බිත්තරයක්. පොසිල සමඟ හමුවුණු මෙම බිත්තරය, ඩයිනසෝර ගැහැනු සතකු මිය යන විට ඇගේ ඩිම්බකෝෂය තුළ තිබෙන්නට ඇතැයි හෝ ඇගේ කූඩුවක තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
පොසිල විද්‍යාඥයන්ට නව ඩයිනසෝර විශේෂ බොහොමයක් සොයා ගැනීමට හැකි වී ඇත්තේ ආජන්ටිනාවට අයත් පැටගෝනියාව යන නමින් හැඳින්වෙන භූමියෙනුයි. එම ප්‍රදේශය, ඩයිනසෝර පොසිල කැණීම් නිරතුරුව සිදුවන බිමක්. මේ පැටගෝනියාවේ, රියෝ නෙග්රෝ නමැති ස්ථානයේ සිදු කළ කැණීම්වලින් තමා පොසිල විද්‍යාඥයන්ට මෙම බිත්තරය හමුවී තියෙන්නේ. දැන් මේ ඩයිනසෝර බිත්තරය කාගේත් පුදුමයට හේතුවක් වෙලා. දූවිලි තට්ටු අතරින් මේ බිත්තරය සොයා ගැනීමට හැකි වූයේ පොසිල විද්‍යාඥ කණ්ඩායමට නායකත්වය දුන් ෆෙඩරිකෝ ඇග්නොලින්ටයි. ඔහු මෙය හඳුන්වන්නේ අහඹු සිදුවීමක් ලෙසයි.
මෙම ඩයිනසෝර බිත්තරය පෙනුමෙන් සහ ප්‍රමාණයෙන් පැස්බර බිත්තරයක් හා සමානයි. බිත්තරය සොයා ගත් ෆෙඩරිකෝ ඇග්නොලින් සහ කණ්ඩායම එය ආර්ජන්ටිනාවේ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ මහාචාර්ය ගොන්සාලෝ මුනෝස් වෙත බාර දුන් අතර, බිත්තරය ගැන ලොවට හෙළි කළේ ඔහුයි. මුනෝස් කියන්නේ මේ බිත්තරය බොනපාටෙනිකස් (Bonapartenykus) වර්ගයේ ඩයිනසෝරයකුට අයත් එකක් විය හැකි බවයි. බොනපාටෙනිකස් (Bonapartenykus) යනු ක්‍රිටේසීය යුගයේ අවසානයේ, මෙම භූමියේ වාසය කළ කුඩා මාංශ භක්ෂක තෙරපෝඩා (therapod) වර්ගයට අයත් ඩයිනසෝරයෙක්.
විද්‍යාඥයන්ට අනුව, බොනපාටෙනිකස් යනු මීට වසර මිලියන 83.5 ත් 66 ත් අතර කාලයේ දී (ක්‍රිටේසීය යුගයේ අග භාගයේ දී පමණ) වර්තමාන ආර්ජන්ටිනාවට අයත් ප්‍රදේශයේ ජීවත් වූයේ යැයි සැලකෙන, පිහාටුවලින් පිරුණු ඩයිනෝසෝර වර්ගයක්. දිගින් මීටර 2.5–3.3ක් (අඩි 8.2–10.8ක්) පමණ වූ මොවුන්, ඇල්වාරෙස්සොරොයිඩ් (Alvarezsauroid) නම් ඩයිනසෝර් විශේෂයට අයත් විශාලතම සාමාජිකයා ලෙස සැලකෙනවා. මෙම ඩයිනසෝරයන්ගේ ප්‍රධාන ආහාරය යෝධ කෘමීන් විශේෂ වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. මෙම ඩයිනෝසෝරයන්ගේ විශේෂ ලක්ෂණය වන්නේ කෙටි අත් සහ ශක්තිමත් පාද තිබීමයි. ඔවුන්ට කුඩා පක්ෂි-සමාන විශාල නියපොත්තක් සහිත අතක් තිබුණු බව පැවැසෙයි. මෙම ඩයිනසෝරයන්, කෘමීන් ඇතුළු කුඩා ගොදුරු ආහාරයට ගැනීමට අනුවර්තනය වන්නට ඇතැයි සැලකෙයි. බොනපාටෙනිකස්, බිම හාරා පස් ඉවත් කර, බිම් ගුල්වල සැඟවී සිටින සතුන්, අල්ලා ගන්නට ඇතැයි යන්න පොසිල විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.
ඩයිනෝසෝරයන් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදා වෙන් කරනු ලබනවා. ඒ ඔවුන්ගේ ශ්‍රෝණි අස්ථිවල (hip bones/pelvic structure) සැකැස්ම අනුවයි. සෝරිස්කියා (Saurischia)සහ ඕර්නිතීස්කියා (Ornithischia) යනු ඒ ප්‍රධාන වර්ග දෙකයි. එම ප්‍රධාන වර්ග දෙකෙන් සෝරිස්කියා (Saurischia) වර්ගය, තෙරපෝඩා (Theropoda) සහ සෝරොපොඩෝමෝෆා (Sauropodomorpha) යන උප කොටස් දෙකට වෙන් කෙරෙනවා. තෙරපෝඩා (Theropoda) යනු සාමාන්‍යයෙන් මාංශ භක්ෂක (carnivorous), ද්විපාද (bipedal) ඩයිනෝසෝරයන් විශේෂයක්. උදාහරණ වශයෙන් ටයිරැනසෝරස් රෙක්ස් (Tyrannosaurus Rex), වෙලොසිරැප්ටර් (Velociraptor), ඇලෝසෝරස් (Allosaurus) දැක්විය හැකිය. “මේ ආකාරයට බිත්තරයක් හමුවීම ඇත්තටම පුදුමයක්. මෙවැනි දෙයක් අප කිසිවකු අපේක්ෂා කළේ නැහැ.” යැයි බිත්තරය සොයා ගැනීම සම්බන්ධයෙන් නැෂනල් ජියෝග්‍රැපි සඟරාවට අදහස් දක්වන මහාචාර්ය මුනෝස්, පවසනවා. මෙම ප්‍රදේශයෙන් මීට පෙර ද ඩයිනෝසර බිත්තර සොයා ගැනීමට හැකී වී තිබුණ ද මෙතරම් හොඳින් සංරක්ෂණය වූ බිත්තරයක් හමුවී නැති බවයි, මහාචාර්යවරයා කියන්නේ. බිත්තරය තුළ කලල ද්‍රව්‍ය අඩංගු විය හැකි බැවින්, සියුම් ස්කෑන් පරීක්ෂණයකට ලක් කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා.
මුනෝස් වැඩිදුරටත් කියන්නේ මාංශ භක්ෂක ඩයිනෝසෝරයන්ගේ බිත්තර ඉතා දුර්ලභය කියායි. ඊට හේතු ඔහු දක්වන්නේ මෙසේයි: “ශාක භක්ෂකයන්ට වඩා මාංශ භක්ෂකයින් සංඛ්‍යාවෙන් අඩුයි. මාංශ භක්ෂක ඩයිනෝසෝර වර්ගවලින් තමයි, පක්ෂීන් බිහිවුණු බවට අප විශ්වාස කරන්නේ. එහෙයින් ඔවුන්ගේ බිත්තර පක්ෂීන්ගේ බිත්තරවලට වඩාත් සමානයි. ඒවා වඩාත් සියුම්. ඒ බිත්තරවල කවච ඉතා තුනී නිසා විනාශ වීමේ වැඩි ප්‍රවණතාවක් තියෙනවා. එවැනි බිත්තර සොයා ගැනීම වඩාත් අපහසු වන්නේ ඒ නිසයි. මේ සොයා ගැනීම ගැන අපට මෙතරම් කතා කරන්න සිදුවී තියෙන්නේත්, ඒ සුවිශේෂී හේතුව නිසයි.” බිත්තරය ස්කෑන් පරීක්ෂණවලට යොමු කිරීම සිදුවනු ඇත්තේ ආර්ජන්ටිනාවේ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ දීයි. එහි කලලයක් හෝ කලල කොටසක් හෝ අඩංගු විය හැකි යැයි ඔවුන් තරයේ විශ්වාස කරනවා. යම්හෙයකින් ඩයිනසෝර කලලයක් ඉන් හමුවුවහොත්, ඩයිනෝසෝරයන් වර්ධනය වී බිත්තරයෙන් එළියට පැමිණි ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ද හැකි වනු ඇතැයි මහාචාර්යවරයා වැඩි දුරටත් කියනවා. ඒ අනුව, මෙම බිත්තරය සොයා ගැනීම දකුණු ඇමරිකානු ඉතිහාසයේ ඉතාමත් වැදගත් සිදුවීමක් වනු ඇති.
ඩයිනෝසෝරයන් වසර මිලියන 66 කට පමණ පෙර පෘථිවිය පාලනය කළ නමුත්, ක්‍රිටේසීය-තෘතීයික වඳවී යාම (Cretaceous-Tertiary extinction) ලෙස හඳුන්වන සිදුවීමකදී හදිසියේම මේ සතුන් මිහිමතින් අතුරුදන් වන්නට ඇති.
වසර ගණනාවක් තිස්සේ පැවති දේශගුණික විපර්යාස හේතුවෙන් මෙම දැවැන්ත උරගයන්ගේ ආහාර දාමය විනාශ වූ බවයි එකල විශ්වාසය වුණේ. කෙසේ වෙතත්, 1980 ගණන්වලදී පාෂාණ විද්‍යාඥයන් ඉරිඩියම් (iridium) නම් මූලද්‍රව්‍ය තට්ටුවක් සොයා ගත්තා. ඉරිඩියම් යනු පෘථිවියේ දුර්ලභ නමුත් අභ්‍යවකාශයේ බහුලව දක්නට ලැබෙන මූලද්‍රව්‍යයක්. පස් තට්ටු කාලනිර්ණය කළ විට, එය ඩයිනෝසෝරයන් පොසිල වාර්තාවෙන් අතුරුදහන් වූ කාලයටම හරියටම සමපාත වුණා. දශකයකට පසු, විද්‍යාඥයන් විසින් මෙක්සිකෝවේ යුකැටාන් අර්ධද්වීපයේ (Yucatán Peninsula) කෙළවරේ ඇති දැවැන්ත චික්සුලුබ් ආවාටය (Chicxulub Crater) සොයා ගත් අතර, එය ද මෙම සිදුවීම සිදුවූ කාලයට අයත් වෙයි.
ඒ අනුව, මෙම සාධක දෙක එකිනෙකට සම්බන්ධ බවත්, ඒවා දෙක ම පෘථිවියට කඩා වැදුණු දැවැන්ත ග්රහකයක් මගින් ඇති වන්නට ඇති බවත් වර්තමාන විද්‍යාත්මක පිළිගැනීමයි. ගණනය කර ඇති ප්‍රමාණය සහ ගැටීමේ ප්‍රවේගය අනුව, මෙම ගැටීමෙන් විශාල කම්පන තරංගයක් ඇති වී, ඉන් දැවැන්ත භූමිකම්පා ක්‍රියාකාරිත්වයක් සිදු වන්නට ඇත. එහි අතුරු ඵලයක් ලෙස මුළු ග්රහලෝකයම වසා ගත් අළු දුම්රොටු වලාවක් බිහි විය. එයින් ඩයිනෝසෝරයන්ට දිවි ගලවා ගැනීමට නොහැකිවන්නට ඇති. අනෙක් සතුන් හා ශාක විශේෂවල පරම්පරා අතර කාලය කෙටි වීම නිසා ඒවාට දිවි රැක ගත හැකි වුණත්, ඩයිනෝසෝරයන්ට ඊට ඔරොත්තු දෙන්නට නොහැකි වන්නට ඇත. මේ ඩයිනෝසෝර වඳ වී යාමට හේතු වූ ආකාරය සම්බන්ධයෙන් වෙනත් මත කීපයක් ද තියෙනවා. එක් පැරණි අදහසක් වන්නේ, කුඩා ක්ෂීරපායින් ඩයිනෝසෝර බිත්තර ආහාරයට ගැනීමයි. තවත් න්‍යායකින් දැක්වෙන්නේ විෂ සහිත ඇන්ජියෝස්පර්ම් (සපුෂ්ප ශාක) ශාක ආහාරයට ගැනීම නිසා ඔවුන් සමූහ වශයෙන් මිය යන්නට ඇති බවයි.
- ලුසිත ජයමාන්න
නැෂනල් ජියෝග්‍රැපි ඇසුරිනි

0 Comments